ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
 

ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් අද (ජනවාරි 13) නාවික හමුදාව විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී සොයාගැනීමට සමත් වී ඇත. තවද, මොහු ඉන්දියාවේ, රාමනාදපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කරුප්පයියා මුන්නසාමි නැමැති 55 වියැති පුද්ගලයෙකු බවට තහවුරු කරගෙන ඇති අතර, මේ වන විට මියගිය ධීවරයාගේ මෘතදේහය කඩිනමින් ගොඩබිම වෙත රැගෙනවිත් යාපනය, පොලිසිය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

මෙම සෝදිසි මෙහෙයුම අතරතුර තවත් ඉන්දීය ජාතික ධීවරයින් අට දෙනෙකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත්වී ඇති අතර, මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඔවුන් කන්කසන්තුරෙයි, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.

එමෙන්ම, ඊයේ (ජනවාරි 12) රාත්‍රියේදී ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංගනය කරමින් ඉන්දියානු ධීවර යාත්‍රා 500 කට අධික ප්‍රමාණයක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරතවනු, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරීක්‍ෂණය කොට ඇති අතර, එහිදී ධීවර යාත්‍රා 02 ක් සහ ධීවරයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

මෙලෙස දේශසීමාව උල්ලංගනය කරමින් ශ්‍රී ලාංකීය මුහුදු සීමාව තුළ අනවසරයෙන් මසුන් ඇල්ලීම සඳහා පැමිණි ඉන්දියානු ධීවර යාත්‍රා මඟින් ප්‍රදේශයේ දේශීය ධීවරයන්ගේ දැල් හා අනෙකුත් ධීවර ආම්පන්න රැසකට ද අලාභහානි සිදු වී ඇති බවට නිරීක්‍ෂණය වේ.