නාවික හමුදාධිපතිතුමන් අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනී
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 06) අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගන්නා ලදී. ඒ අනුව, ප්‍රථමයෙන්ම අනුරාධපුර අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදක උන්වහන්සේ වෙත අට පිරිකර පූජා කිරීම ද සිදු කෙරිණි.

ඉන් පසු ඔවුහු ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි උඩ මළුවට පැමිණ ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදා ගත්හ. එහිදී ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනයක් සිදු කොට නාවික හමුදාධිපතිතුමා ප්‍රධාන සමස්ථ නාවික හමුදාවට ආශිර්වාද පුද කෙරිණි.

ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් ඇතුළු පිරිස අනුරාධපුර, රුවන්වැලි මහා සෑ රදුන් වැඳ පුදා ගැනීමෙන් පසු එහි විහාරාධිපති ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්හ. මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

<>