මූලික පුහුණුව හැදෑරූ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නිලධාරීන් සහ නාවිකයන් විසිර යයි
 

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සඳහා සුදුසුකම් ලැබීමේ මූලික පුහුණුව හැදෑරූ එහි 23 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 5 දෙනෙක් සහ නාවිකයන් 33 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ සහ විසිරි යෑමේ උත්සවය ඊයේ (සැප්තැම්බර් 14) කල්පිටිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත්‍ වීරසිංහ මහතා සහභාගී විය.

මාස 9 ක කාල සීමාවක් පුරාවට පැවති මෙම පුහුණු පාඨමාලව තුලින් යුධමය වාතාවරණයක් පවතින කාල වකවානුවක් තුළ කුඩා බෝට්ටු සංකල්පය අනුගමනය කරමින් සෙඩ්රික් යාත්‍රා මගින් සතුරා වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණ විය. එමෙන්ම හදිසි සහ ස්වාභාවික ආපදා තත්වයන් වලදී විශේෂයෙන්ම ගංවතුර හේතුවෙන් විපතට පත් වූවන් මුදවා ගැනීමේ හා ඔවුන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කිරීමේ මෙහෙයුම් සඳහා මනා පුහුණුවක් ලබා දීම ද මෙම පුහුණු කාල සීමාව තුළ දී සිදු කෙරිණි.
 
පුහුණු කාල සීමාව තුළදී විශේෂ කුසලතා දැක්වූවන් සඳහා සම්මාන පිරිනැමීම එහිදී සිදු විය. ඒ අනුව විශිෂ්ඨතම පුහුණුවන්නාට හිමි සම්මනානය ලුතිනන් ජිජිඑච් අල්විස් නිලධාරියා විසින් හිමි කර ගන්නා ලදී. දක්ෂතම යාත්‍රා හසුරවන්නාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ලුතිනන් එස්ඒඑස්සී වර්ණකුලසූරිය විසිනි. දක්ෂතම ශාරීරික යෝග්‍යවත් පුහුණුවන්නා සහ දක්ෂතම ජීවිතාරක්ෂකයාට හිමි සම්මානය සාමාන්‍ය නැවි ඩීඑම්වීටී දිසානායක විසින් දිනා ගන්නා ලදී.

මෙම විසිර යෑමේ උත්සව අවස්ථාවේදී සිය පුහුණු වීමෙන් ලද පන්නරය විදහා දක්වනු වස් එම නිලධාරීන් සහ නාවිකයන් විසින් විශේෂ යුද සංදර්ශණයක් ද ඉදිරිපත් කරන කරන ලදී. තවද, ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා සහන සැළසීම අරමුණු කර ගනිමින් දීයේ ගිලෙමින් අනතුරටපත්ව සිටින පුද්ගලයින් බේරගැනීමේ මෙහෙයුම්ක් ක්‍රියාත්මක කරන අයුරු විදහා දැක්වෙන ක්‍රියාකාරකමක් ද එහිදී ඔවුන් විසින් සිදු කරන ලදී.
   
එම අවස්ථාව සඳහා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ හිටපු අධ්‍යක්‍ෂ, රියර් අද්මිරාල් (විශ්‍රාමික) රෝහන් අමරසිංහ මහතා, වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජීව පෙරේරා මහතා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල, රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශණ මහතා, වයඹ නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රොහිත පෙරේරා මහතා සහ නාවික හමුදා මූලස්ථානය හා වයඹ නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විසිර යන ලද නාවික පුද්ගලයින්ගේ දෙමාපියන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.