232 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 384 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 232 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 384 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට පසුගිය සැප්තැම්බර් 01 වන දින විසිර යන ලදී. පූනෑව, ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත්, රියර් අද්මිරාල් උපුල් ඒකනායක මහතා සහභාගී විය.

ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, උතුරු මැද විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ අණදෙන නිලධාරි සහ ආඥාපති, කපිතාන් අශෝක වි‍ජේසිරිවර්ධන මහතා ඇතුලු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක්ද, ප්‍රදේශයේ යුද්ධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අනුයුක්ත නිලධාරින් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද සහභාගීවි සිටියහ.

තවද, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්‍රධානයක්ද සිදු කෙරුණු අතර, එහිදී 232 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයා වශයෙන් ආධුනික නැවි කේඩබ්පීඒඅයි වෙලේගෙදර කුසලාන හිමි කර ගන්නා ලදී. සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයා ලෙස ආධුනික නැවි ජිජිඑල්යූඑස් ගුණසේන කුසලාන හිමිකර ගත් අතර, ආධුනික නැවි එස්එස් අයේෂ් හොඳම ඉලක්කකරුට හිමි කුසලානයට හිමිකම් කීවේය. මීට අමතරව ආධුනික නැවි කේඑන්එම් ජයතිලක හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානය ද හොඳම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එච්එම්එස් මදුවන්ති දිනාගන්නා ලදී. එමෙන්ම, 232 වන බඳවා ගැනීමට අයත් අංශ 14 ක් අතරින් දක්‍ෂතම අංශයට හිමිවන අභියෝගතා කුසලානය ‘යසෝදරා’ අංශය හිමි කර ගැනීමට සමත්වන ලදි.

ඉන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින්, විසිර යන නාවිකයින් සහ ඔවුන්ගේ දෙමාපියන් අමතමින් ප්‍රකාශ කර සිටියේ අපගේ මාතෘ භූමියට සේවය කිරීම සඳහා නාවික හමුදාව වෙත තම දරුවන් දායාද කිරීම පිළිබඳව එම ‍‍දෙමව්පියන් හට සිය හෘදයංගම ස්තූතිය පිරිනමන බවයි. තවද, අද දින විසිර යන ලද නාවිකයින්, ඉදිරි නාවික හමුදා දිවිය තුළදී ඔවුන්ට පැවරෙන වගකීම් සහ රාජකාරීන් නිසි අයුරින් ඉටු කිරීමට වග බලා ගන්නා ලෙසත්, නාවික හමුදාවේ උන්නතිය උදෙසා කැපවීමෙන් රාජකාරී සිදු කිරීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙසත් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. අවසන් වශයෙන් මෙම නාවිකයින් ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමින් පිරිපුන් නාවිකයින් බවට පත් කිරීම උදෙසා අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් කටයුතු කළ ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපතිතුමා ඇතුළු උපදේශක මණ්ඩලයට එතුමන්ගේ ප්‍රශංසාව පිරිනැමීමට ද කටයුතු කරන ලදී.

එමෙන්ම, 232 වන බඳවා ගැනීමට අයත් නාවිකයින්ගේ ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් සහ නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ සංස්කෘතික සංදර්ශණයකින්ද මෙම විසිර යාමේ පෙළපාලිය සමන්විත විය.