චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 08) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

නෞකාව කොළඹ වරායට සේන්දු වීමෙන් අනතුරුව, චින නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ කපිතාන් ඩොන්ග් යෑන් මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර්, චාන්ග් ඡුයෝන්ග් මහතා ඇතුළු පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය. එහිදී ඔවුන් ‍අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි මහතා ද සහභාගී විය.

සිව්දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතව ඇත.

දිගින් මීටර් 129 ක් සහ පළලින් මීටර් 17 කින් යුත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව ටොන් 4900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 158 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන අගෝස්තු  11 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.