නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන්  නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, පාමුර සංචාරයේ යෙදී සිටි වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් පසුගිය ජුලි 31 වන දින තිරික්කපල්ලම ප්‍රදේශයේ නීති විරෝධී ධිවර කටයුතුවල නිරතව වූ ධීවරයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබූ අල්ලන ලද ඉස්සන් කිලෝග්‍රෑම් 07 ක්, ඩිංගි යාත්‍රාවක්, වල්ලම් යාත්‍රාවක් සහ තහනම් දැල් 02 ක්  නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඉස්සන් තොගය, ඩිංගි යාත්‍රාව, වල්ලම් යාත්‍රාව සහ තහනම් දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් පසුගිය අගෝස්තු 02 වන දින නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී තහනම් දැල් 02 ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, තහනම් දැල්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, උතුරුමැද නාවික විධානයට අයත් නාවිකයින් විසින් පසුගිය අගෝස්තු 03 වන දින චිරුට්ටොප්පු ප්‍රදේශයේ පඳුරක් යට සඟවා තිබූ ජෙලග්නයිට් කූරූ (Gelignite Sticks) 04ක්, විදුලි නොවන ඩෙටනේටර් (Non electrical Detonator)  37 ක් සහ සේවා නූල් (Safety Fuse) මීටර් 03 ක් සොයාගෙන ඇත. සොයාගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලෙයි, පොලීසිය වෙත භාර දෙන ලදී.