අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රදේශ වල ජනතාව සඳහා නාවික හමුදා සහාය
 

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී. ඒ අනුව දකුණු, බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත් සඳහා නාවික හමුදාව සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී. ඒ අනුව මේ වන විට ඩිංගි යාත්‍රා 37 ක් සහිත නාවික සහන කණ්ඩායම් 39 ක් පසුගිය මැයි 20 වන දින සිට අදාල ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.

නාවික හමුදා මැරීන් බලකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවික පුද්ගලයින් මෙන්ම විශේෂ යාත්‍රා බලඝණයට සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ වක්වැල්ල, පිටබැද්දර හරහා රත්ගම දක්වා දිවෙන අතුරු මාර්ගයේ ගිංඟග හරස් කොට ඉදි කර ඇති වක්වැල්ල පාලම හරහා කුණු රොඩු එකතු වීම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී ඒ ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමකට ලක්ව තිබිණි. එබැවින් ජලය බැස යාම කඩිනම් කිරීම සඳහා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත සහන සැලසීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත යෙදවීමට නාවික හමුදාව කටයුතු කොට ඇත. එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අවිත්තාව යන ප්‍රදේශයේ පාලමක් හරහා කුණු රොඩු එකතුවීම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී තිබූ අතර, ඒ සඳහා සහන කණ්ඩායමක් යොදවා ජලය බැස යාම කඩිනම් කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. එමෙන්ම රද්දොළුගම ප්‍රදේශයට ජලය සපයනු ලබන පද්ධතිය අපද්‍රව්‍ය එකතුවි අක්‍රීයවි තිබූ අතර, නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් එම ස්ථානය කඩිනමින් පිරිසිදු කර යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන ලදී. එමෙන්ම මාදම්පේ ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටි පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාම සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් පිරිසක් කටයුතු කරන ලදී.

තවද, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ස්ථාපිත කර ඇති ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය මඟින් අද (මැයි 22) උදෑසන ක්ෂණික අවශ්‍යතාවයකදී භාවිතයට ගතහැකි ලෙස ජංගම මුළුතැන් ‍ගෙවල්, ආහාර පිසීමේ උපකරණ, ආහාර උණුසුම් කිරීමේ උපකරණ, කූඩාරම්, වතුර පොම්ප සහ ජංගම වැසිකිළි ආදි උපකරණ රැගත් ට්‍රක් රථ කිහිපයක් රත්නපුර දිස්ත්‍රික්කය බලා පිටත් කර යැවීමට කටයුතු කළ අතර, ඒ අනුව මේ වන විට රත්නපුර, හිදැල්ලන ප්‍රදේශයේ අවතැන්ව සිටින ජනතාව සඳහා ආහාර පාන ලබා දීමට කටයුතු කරමින් සිටී. එමෙන්ම තව දුරටත් අයහපත් කාළගුණික තත්වයද නොතකමින් නාවික හමුදාව විසින් සහන සැළසීමේ කටයුතු සිදු කරමින් පවතී.