Table Top අභ්‍යාසය 2017 ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි
 

නාවික දියත් විධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Table Top අභ්‍යාසය අඛණ්ඩව 2 වන වරටත් පසුගිය දෙසැම්බර් මස 11 සහ 12 යන දෙදින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පැවැත්විණි. මෙවර එහි තේමාව වූයේ සාගරික ආරක්ෂාව වෙනුවෙන් එක්වෙමු යන්නයි. මේ සඳහා විවිධ ආයතන නියෝජනය කරමින් පාර්ශ්වකරුවන් 10 දෙනෙක් සහභාගී විය.

එහිදී, ඔවුන් එකිනෙකා හඳුනා ගනිමින් සාමූහිකව ක්‍රියාත්මක වී විවිධ හදිසි අවශ්‍යතාවන් හිදී කටයුතු කළ ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදී. ඒ අනුව, ඔවුන් අතර සහයෝගීතාවය සහ හැකියාවන් වර්ධනය කර ගැනීම මෙන්ම ගැටළු හදුනා ගැනීම හා ඒවා විෂ්ලේශණය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනිණි. දින 2 ක් පුරා පැවති මෙම අභ්‍යාසයේදී අවධානයට යොමු වූ කරුණු වශයෙන් මත්ද්‍රව්‍ය උවදුර නිවාරණය කිරීම, මුහුදු මාර්ග ඔස්සේ එල්ල විය හැකි සතුරු ප්‍රහාර සඳහා සූදානම, රසායනික ප්‍රහාර ඇතුළු විවිධ මට්ටමේ බෝම්බ ප්‍රහාර, තෙල් කාන්දු වීම් සහ විශාල පරිමාණයේ ගිනි ගැනීම් වලට මුහුණදිය යුතු ආකාරය දැක්විය හැකිය.

මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව, වෙරළාරක්ෂක බලකාය, විශේෂ කාර්යය බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, පරිසර ආරක්ෂණ අධිකාරිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී විය. එහි පළමු දිනයේ ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා විශේෂ දේශණයක් (Presentation) ඉදිරිපත් කළ අතර, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් විශේෂ දේශණ පවත්වන ලදී. දෙවන දිනය තුළ පෙර සඳහන් කරන ලද ව්‍යසයන් හමුවේ ඒවාට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සහ විසදුම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.