ගංවතුරින් විපතට පත් ප්‍රදේශ වල ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් වලට නාවික හමුදාවේ සහාය
 

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටී. මේ වන විට දකුණු, බස්නාහිර සහ සබරගමුව යන පළාත් වල ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ, ඇති වූ හදිසි තත්ත්වයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ඩිංගි යාත්‍රා 12 ක් සහිත නාවික සහන කණ්ඩායම් 13 ක් ගංවතුර අවධානම පවතින ප්‍රදේශ වලට ආපදා සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් ඊයේ (නොවැම්බර් 30) සහ අද (දෙසැම්බර් 01) අනුයුක්ත කොට ඇත.

ඒ අනුව, දකුණු පලාතේ ගං වතුරින් අවතැන් වූ ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 06 ක් යොදවා ඇති අතර, බස්නාහිර පලාතේ ගං වතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැළසීමට ආපදා සහන කණ්ඩායම් 06 ක් මෙන්ම සබරගමුව පලාතේ ආපදා සහන කණ්ඩායමක් ද (01) යොදවා ඇත.

ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ, තවලම, පිටබැද්දර, දම්මුල්ල සහ ඉමදුව යන ප්‍රදේශ, මාතර දිස්ත්‍රික්කයේ සපුගොඩ සහ පණ්ඩුගම යන ප්‍රදේශ, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට, බඳුරලිය සහ මතුගම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට යන ප්‍රදේශයන්හි නාවික ආපදා සහන කණ්ඩායම් යොදවා ඇත.

මේ වන විට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මගින් ගංවතුරින් යටවි ගමනාගමනය සඳහා මාර්ග අවහිරවි තිබු ප්‍රදේශවල නාවික හමුදා කුඩා යාත්‍රා යොදවා පුද්ගලයින් 155 දෙනෙකු හට ගමනාගමන පහසුකම් සලසා දිමට නාවික හමුදා සහන කණ්ඩායම් සමත්ව ඇත. එමෙන්ම, තව දුරටත් අයහපත් කාළගුණික තත්ත්වයද නොතකමින් නාවික හමුදාව විසින් අවතැන් වූවන් මුදවා ගැනීමේ සහ ඔවුන්ට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් පවතී.