අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ශිෂ්‍යත්ව කඩඉම ඉහලින් ජයගත් දියණියගේ ගමට ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක්
 

නාවික සමාජීය මෙහෙවර මඟින් ගලේවෙල පහල දිග්ගල ගම්මානයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය අද (ඔක්තෝබර් 23) ජනතා අයිතියට පත් කෙරිණි. සිංගප්පූරුවේ ෆයර්ෆ්ලයි මිෂන් (Firefly Mission) නමැති ස්වේච්ඡා ආයතනයේ පූර්ණ මුල්‍ය අනුග්‍රහය යටතේ මෙම ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපනය කොට ඇත. මෛත්‍රී පාලනයක්...... ස්ථාවර රටක් යන සංකල්පයට සමගාවීම නාවික හමුදා සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් මෙම ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත කර ඇත. මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩාකාභය ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් නිශාන්ත රණවීර මහතා සහ පහල දිග්ගල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා එක්වී සිටියහ.

මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය හිමි වූයේ ගලේවෙල අධ්‍යාපන කොට්ඨාශයට අයත් පහල දිග්ගල ප්‍රාථමික විද්‍යාලයේ ඉගනුම ලබා ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වූ බීඩී දුලාංජලී මධුමාලි ප්‍රේමරත්න ශිෂ්‍යාව ජීවත් වන පහළ දිග්ගල ගම්මානයට වීම විශේෂත්වයකි. එම දියණියගේ පියා 2015 වර්ෂයේ වකුගඩු රෝගය උත්සන්න වීමෙන් ජීවීතක්ෂයට පත්ව ඇති අතර, ඔහු මිය යන විට 34 වන වියේ පසු විය. ආර්ථික අපහසුතා රාශියක් මධ්‍යයේ ඇය මෙවර ශිෂ්‍යත්ව විභාගය උසස් ලෙස සමත් වී ඇත. ගලේවෙල කොට්ඨාශයට අයත් පහල දිග්ගල ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් පළමු ශිෂ්‍යාව ලෙස ඇය එම විදුහලේ ඉතිහාසයට එක් වනු ඇත.

එම දියණිය පිළිබඳ තොරතුරු සැළවූ වහාම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ඇයට ශිෂ්‍යත්වයක් ලබා දීමට කටයුතු කළ අතර, එතුමන්ගේ උපදෙස් මත එම දියණිය වෙසෙන ගම්මානයේ ජනතාව වෙනුවෙන් මෙම ජල පිරිපහදු යන්ත්‍රය ලබා දීමට ද පියවර ගෙන ඇත. මෙමඟින් ප්‍රදේශයේ පවුල් 500 ක් සහ එම පාසලේ දරු දැරියන් 96 දෙනෙක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකියාව ලැබිණි. තවද, දිග්ගල ගම්මානයේ මේ වන විට වකුගඩු රෝගයට ගොදුරු වූ පුද්ගලයින් 40 දෙනෙකු සිටින බවට ද වාර්තා විය.

එමෙන්ම, මේ දක්වා ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍ර 278 මගින් පවුල් 124,109 කට සහ පාසැල් දරු දැරියන් 89,783 කට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ නිර්මාතෘ වන අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත, එහි ප්‍රධාන කොටස් කරුවෙකු වන නාවික හමුදාව, ඉදිරියේදීත් වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය හා එක්ව මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කරමින් සිටී.