කොළඹ නගරය තුළ ඇල මාර්ග හා කාණු පද්ධති පිරිසිදු කිරිමට නාවික හමුදා සහය
 

දැනට කොළඹ නගරය තුළ හා අවට ඇති ඇළ මාර්ග හා කාණු පද්ධති, අපද්‍රව්‍ය හා ජලජ පැලෑටි නිසා ජලය ගලා බැස යෑමට නොහැකි ලෙස මුළුමණින්ම අවහිර වී ඇත. මේ හේතුව නිසා ඉතා සුළු වර්ෂාවකදි වුවද කොළඹ හා ඒ අවට ප්‍රදේශය වැසි ජලයෙන් යටවි ගමනාගමනයට පවා ඉතා අසීරු තත්වයට පත් වේ. තවද, ඩෙංගු රෝගය පැතිර යාමේ වැඩි ඉඩකඩක් පවතින අතර, මේ වන විටද ප්‍රදේශයේ විශාල ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

එම දුෂ්කරතාවය අවබෝධ කරගත්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදේශකත්වය මත කොළඹ අවට ඇති ඇල මර්ග හා කාණු පද්ධති පිරිසිදු කර ජලය බැස යන ආකරයට පිලිසකර කිරිමට කටයුතු මුල පුරන ලදී. මෙම කර්තව්‍යන් නාවික හමුදා ප්‍රජා සත්කාරක සේවාවන් යටතේ කරනු ලබන තවත් එක් පියවරක් ලෙස හදුන්වා දිය හැක.

මෙම වැඩසටහන් මාලව පසුගිය මැයි මස 31 වන දින සිට ක්‍රියාත්මක වන අතර, වත්තල, කැලණිය, පෑලියගොඩ සහ කෙරවලපිටිය ප්‍රදේශවල ඇල මාර්ග පිලිසකර කිරිමේ කටයුතු මේ වන විටත් සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් නිලධාරින්ගෙන් සහ නාවිකයින්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායමක් නාවික හමුදාව සතුවන අතර, නාවික හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව මෙම ඇල මාර්ග හරහා කුඩා යාත්‍රා මගින් ප්‍රවාහන කටයුතු සිදු කර ගැනිමට හැකිවන පරිදි ඇල මාර්ග පිලිසකර කර දිමට කටයුතු කරනු ලබයි.

දැනට පිරිසිදු කිරිම් කරගෙන යනු ලබන ඕලන්ද ඇල, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට සමාන්තරව මීගමු කලපුව දක්වා දිවෙන අතර, වෙනත් අතුරු ඇල මාර්ග බෝහොමයක් මෙම ඇල මාර්ගයට සම්බන්ධවි ඇත. සම්පුර්ණයෙන් ජපන් ජබර සහ අපද්‍රව්‍ය වලින් පිරි පැවැති මෙම ඇල මාර්යේ පිරිසිදු කිරිම් ජුනි මස 19 වන දින සිට ක්‍රියාත්මක කල අතර, දැනට කිලෝමිටර් 3.5 පමණ කොටසක් පිරිසිදු කර ඇත. මෙම කාර්තව්‍ය සම්පුර්ණ කර ගැනිම සදහා ඉඩම් ගොඩකිරිම් සංස්ථාවට අයත් යන්ත්‍රෝපකරණ සහ එම නිලධාරින්ගේ සහයෝගයද ලබාදී තිබේ.