නාවික හමුදාධිපතිතුමන් රාජකීය සෞදි නාවික හමුදාධිපතිතුමන් හමුවේ.
 

රාජකීය සෞදි නාවික හමුදා ප්‍රධානී, වයිස් අද්මිරාල් අබ්දුල්ලා අල්-සුල්තාන් මහතාගෙන් ලද ඇරයුමකට අනුව සෞදි ආරාබි රාජධානියේ නිල සංචාරයක නිරතව සිටින ශ්‍රීලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජුලි 04) රියාද්හි පිහිටි නාවික හමුදා මුලස්ථානයේදි සෞදි නාවික හමුදාධිපතිතුමන් හමුවන ලදි.

මෙම සංචාරයේදි නාවික හමුදාධිපතිතුමන් සෞදි රාජකීය නාවික හමුදා මුලස්ථානය මෙන්ම නාවික මාණ්ඩලික ප්‍රධානීතුමන්ද මුණ ගැසිමට කටයුතු කරන ලදි.

ඔවුන් අතර පැවැති සුහද සාකාච්ජාවේදි දෙරටට අයත් නාවික විශේෂ බලඝණයන්හි පුහුණු කරුණු සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, නාවික හමුදාවන් අතර පවතින මිතුදම සහ සුහදතාවය සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් සිදු කෙරුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සෑම වර්ෂයකදිම සංවිධානය කරනු ලබන ගාලු කථිකාව ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත රාජකීය සෞදි නාවික දුත පිරිසක් සහභාගි වේ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ මෙම සිව් දින නිල සංචාරය අතරතුර රාජකීය සෞදි බටහිර නාවික බලඇණිය නැරඹිම සදහා ජෙඩා වරාය වෙත සංචාරය කිරිමටද නියමිතය.