නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (03) තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු ලාංකීක පුද්ගලයින් 18 දෙනෙකු ත්‍රිකුණාමලයට ආසන්න මුහුදු ප්‍රදේශයන්හිදි අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ත්‍රිකුණාමලය එලිසබේත් තුඩුවට ආසන්න මුහුදු සීමාවේ දී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද අතර, ඒ සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක් , පිටත දහන යන්ත්‍ර 2 ක්, මීටර් 225 ක් දිගැති තහනම් දැල් 2 ක් සහ කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 1 ක් අත්අඩංගුවට පත් විය.

තවද, ත්‍රිකුණාමලය නොර්වේ තුඩුවට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 08 දෙනෙකු සහ ඒ සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, මීටර් 225 ක් දිගැති තහනම් දැලක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.