තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කෙරේ
 

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය අද (3) සිසු අයිතියට පත් කරන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිවිල් මහජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සිදුකරමින් පවති. එහි තවත් එක් ප්‍රජා සේවාවක් ලෙස මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කොට ඇත.

නාවික හමුදාධිපතිතුමාගේ මෙම සංකල්පය මගින් වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි ජනතාවගේ සහ පාසල් ළමුන්ගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව මහත් පරිශ්‍රමයක් දරමින් සිටි. ඒ අනුව පාසල් සඳහා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ලබාදිම තුළින් රටේ අනාගතය භාර ගැනීමට සිටින දරු දැරියන් මාරාන්තික වකුගඩු රෝගයෙන් වළකා ගැනීමට හැකි වනු ඇත. මෙම පාසැලේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3500 දෙනෙකුට සහ ගුරුභවතුන් 165 දෙනෙකුට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනිමට හැකියාව උදා වනු ඇත. මෙම යන්ත්‍රය සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ මුල්‍යමය දායකත්වය ලබා දි ඇත.

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 225 ක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇත. එමගින්, පවුල් 107,390 කට සහ පාසැල් දරු දැරියන් 80,185 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.