‘Higlander’s කුසලාන ‍ගොල්ෆ් තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයෙකු වශයෙන් නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
 

ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සංවිධානය කරන ලද Higlander’s කුසලාන ‍ගොල්ෆ් තරඟාවලිය ඊයේ (2), දියතලාව ගොල්ෆ් ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර, එහි ප්‍රධාන ආරාධිතයෙකු වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.

යුද හමුදා ගොල්ෆ් සංගමය, යුද හමුදා පුහුණු විධානය සහ ශ්‍රී ලංකා ගොල්ෆ් සමාජය එක්ව සංවිධානය කළ මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදා හා සිවිල් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වී සිටියහ. එදින රාත්‍රියේ ජයග්‍රාහකයන්ට හිමි කුසලාන පිරිනැමීමේ උත්සවය දියතලාව යුද හමුදා නිලධාරී නිවස්නයේ පැවැත්වූ අතර, ජයග්‍රාහී කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමට ද නාවික හමුදාධිපතිතුමන් එක් විය.

මෙම අවස්ථාවන් සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් ද එක් වී සිටියහ.