ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් වේ
 

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2017/1 නිමාවත් සමග පවත්වන ලද සහතික පත්‍ර බෙදා දීමේ උත්සවය පසුගිය ජූනි (2) දින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි නාවික ආයතනයේ දී පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර ප්‍රදේශය භාර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා එක් විය.

මෙම පාඨමාලාව සඳහා දායක වූ එක්සත් ජනපදයේ යුධ හමුදා විශේෂ බලකා මෙහෙයුම් අනුකණ්ඩ භටයන්ගේ දායකත්වය අගයනු වස්, ඔවුන් වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම නැගෙනහිර විධානය භාර ආඥාපති තුමන් අතින් සිදු විය. එමෙන්ම පාඨමාලාව සාර්ථකව නිම කළ නාවික පුද්ගලයින් වෙත සහතික පත් බෙදා දීම සිදු කරනු ලැබුවේ එක්සත් ජනපදයේ යුධ හමුදා විශේෂ බලකායේ මෙහෙයුම් අනුකණ්ඩයේ ප්‍රධාන මාණ්ඩලික සැරයන් ෆිලිප් විසිනි. මෙහිදී අදහස් දැක්වූ නැගෙනහිර විධානය භාර ආඥාපතිතුමන් දෙරට අතර පුහුණු කටයුතු, දැනුම, හැකියාව සහ තොරතුරු හුවමාරු කරගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

2017 අප්‍රේල් 24 සිට ජූනි 02 දක්වා පවත්වන ලද මෙම පාඨමාලාවට 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණය නියෝජනය කරමින් නාවික පුද්ගලයින් 12 ක් සහ විශේෂ යාත්‍රා බඝණය නියෝජනය කරමින් නාවික පුද්ගලයින් 24 දෙනෙකු සහභාගි විය. මෙම පාඨමාලාව මෙහෙයවීමට එක්සත් ජනපද යුද හමුදා විශේෂ බලකා මෙහෙයුම් අනුකණ්ඩයේ 1333 ඇල්ෆා කණ්ඩායමට අයත් සාමාජික පිරිසක් විසින් සිදු කර ඇත. මෙම පාඨමාලාව තුළින් උපක්‍රමික සටන් ප්‍රහාරක ක්‍රම සහ සමීප සටන් උපක්‍රම පිළිබඳ මනා දැනුමක් මෙම පාඨමාලාවට සහභාගි වූ නාවික පුද්ගලයින්ට ලබා ගත හැකි විය.