ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර සමුද්‍රිය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ
 

ශ්‍රී ලංකා රජය සහ නෙදර්ලන්ත රජය විසින් සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (16) ආරක්ෂක අමාත්‍යංශයේදී සිදු කෙරුණි. මෙම ගිවිසුම මගින් ඉන්දියන් සාගරය ආශ්‍රිතව යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත වෙළඳ නෞකා සඳහා ආරක්ෂක පහසුකම් සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරේ.

මෙහිදී, නෙදර්ලන්ත රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, අතිගරු ‍ජොඈන් ඩූන්වර්ඩ් මැතිණිය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී වී සිටියහ. තවද, නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා රජයක් විසින්, වි‍දේශීය රටක් සමග සමුද්‍රීය ආරක්ෂක රාජකාරී සඳහා පහසුකම් සැපයීම් සම්බන්ධයෙන් ඇති කර ගත් පළමු අවබෝධතා ගිවිසුම මෙය බවට සනිටුහන් වීම විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් වූ මූලික වටයේ ද්විපාර්ශවික සාකච්ඡාව පැවැත්වූයේ පසුගිය වසරේ කොළඹ පැවැති ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේදීය. එහිදී, ඉන්දියන් සාගරයේ යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත නෞකාවන් මත ආරක්ෂාව සපයමින් ගමන් කරන මැරීන් භටයන් ගාල්ල වරායේ ගොඩබැස්සවීමට සහ ඔවුන් සතු සැහැල්ලු අවි ආරක්ෂිතව ගබඩා කර දෙන ලෙස නෙදර්ලන්ත රාජකීය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රොබ් වර්කට් මහතා විසින් ඉල්ලීමක් ද කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විට දේශීය නියෝජිතයින් 25 දෙනෙකු හරහා විදේශ සමාගම් 90 කට පමණ සමුද්‍රිය ආරක්ෂක රාජකාරී සඳහා පහසුකම් සපයනු ලබයි.

ගාලු කථිකාව සම්මන්ත්‍රණයට සමගාමීව නෙදර්ලන්ත සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිවරුන් අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේදී දෙරට අතර පවතින අන්න්‍යේන්‍ය සුහදත්වය තව දුරටත් වර්ධනය වීමේ ප්‍රථිපලයක් වශයෙන් ත්‍රිකුණාමලය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මගින් පවත්වනු ලබන අසමමිතික යුද පුහුණු පාඨමාලාව හැදෑරීම සඳහා එරට මැරීන් බලකායට අයත් නාවිකයන් හට ආරාධනා ලැබිණි. ඒ අනුව, නෙදර්ලන්ත මැරීන් බලකායට අයත් නාවිකයන් 2 දෙදෙනෙකු මෙම වසරේ (2017) ජනවාරි මස ආරම්භ කෙරුණු ත්‍රෛයි මාසික යුද පුහුණු පාඨමාලාව සාර්ථක ලෙස නිම කරන ලදී.

සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීමේ කණ්ඩායම්, අන්තරාදායක මුහුදු කළාපයන්හි යාත්‍රා කරනු ලබන නෞකා සහ යාත්‍රාවන්ට අවශ්‍ය ආරක්ෂක පහසුකම් සැපයීමේ පුහුණුව, උපදෙස් සහ ආරක්ෂක සැලසුම් ලබා දෙන විශේෂ ආරක්ෂක කණ්ඩායමක් ලෙස ද හඳුන්වා දිය හැක.

අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ උපදෙස් අනුව සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැළසීම නාවික හමුදාව විසින් භාර ගත් අතර, මේ වන විට එමගින් අති විශාල ආදායමක් රජය වෙත උපයා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව ඇත.

අ‍වබෝධතා ගිවිසුම අත්සන් කිරීම

 

 

 

 

 

 

2016 ගාලු කථිකාවතේ දී ‍ශ්‍රී ලංකා හා නෙදර්ලන්ත නාවික හමුදාධිපතිවරුන් අතර පැවති ද්වි පාර්ශවික සාකච්ඡාව

 

 

 

 

 

 

නෙදර්ලන්ත මැරීන් බලකායේ නාවිකයන් විසින් අසමමිතික යුද පුහුණු පාඨමාලාව සාර්ථක ලෙස නිමා කිරීම

 

 

 

 

 

 

නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම