උතුරු නාවික විධානය එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය අභිමානයෙන් සමරයි
 

අන්තර්ජාතික වෙසක් දින ‍උළෙලට සමගාමීව උතුරු නාවික විධානය විසින් ආගමික ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කොට තිබුණි. උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මගපෙන්වීම මත පසුගිය 10 වන දින සහ 11 වන දිනයන්හි එම ක්‍රියාකාරකම් සංවිධානය කරන ලදී.

වෙසක් පුන් පොහොය දින (10) උදෑසන නාගදීප පුරාණ රජමහා විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීණාචාර්ය ධර්ම කීර්ති ශ්‍රි අතිපූජ්‍ය නවදගල පදුම කිත්ති තිස්ස ස්වාමීන් වහන්සේ විසින් ආගමික කටයුතු රාශියක් සංවිධානය කර තිබිණි. ඒ සඳහා අති විශාල පිරිසක් සහභාගී වූ අතර, එහි සංවිධානය කොට තිබූ වෙසක් දන්සල ආඥාපතිතුමන් අතින් විවෘත කෙරිණි.

තවද, එම නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් දඹකොල පටුන විහාරස්ථානය අවට ප්‍රදේශය ආවරණය වන පරිදි අලංකාර වෙසක් කලාපයක් සංවිධානය කර තිබිණි. එහිදී, අට සිල් සමාදන් වීම, ධර්ම දේශණා, ඩිජිටල් තොරණක්, වර්ණවත් වෙසක් කූඩු තරඟාවලියක්, දන්සලක් සහ බෝධි පූජා පිංකමක් පවත්වන ලදි. බෝධි පූජා පිංකම අතිපූජ්‍ය පදුම කිත්ති තිස්ස හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් නාගදීප විහාරස්ථාන පරිශ්‍රය තුළ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි.

මෙහිදී, වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වූයේ මෙම අවස්ථාවන් සඳහා සහභාගී වූ පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් බෞද්ධ නොවන බැතිමතුන් වීමයි. එමෙන්ම කුඩා දරු දැරියන් ඇතුළු 3000 කට අධික පිරිසක් මෙම වන්දනාමාන කටයුතු සඳහා සහභාගී වී සිටියහ. මෙම පුණ්‍ය කටයුත්තේ ප්‍රධාන අරමුණ වූයේ උතුරු අර්ධද්වීපයේ වෙසෙන ජනතාව අතර ආගමික සහජීවනය සහ සාමාජීය වශයෙන් සංහිදියාව ඇති කරලීමයි. තවද, මාදගල් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයට අනුයුක්ත නාවිකයන් ද මාදගල්, ශිව කෝවිල සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කිරීම සඳහා ශ්‍රම දානයක් සංවිධානය කර තිබිණි.

මීට අමතරව, ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන්, අනෙකුත් දූපත් හි පිහිටි නාවික ආයතනයන් සමග සම්බන්ධීකරණය වෙමින් වේලනි දූප‍තේ දීප්තිමත් වෙසක් කලාපයක් සහ දන්සලක් සංවිධානය කරන ලදී. ඒ සඳහා එම ප්‍රදේශයේ පුද්ගලයන් 1500 ක් පමණ සහභාගී වී සිටි අතර, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් විසින් ද ඊයේ (11) ඩෙල්ෆ්ට් දූපතේ දන්සලක් පවත්වා ඇත.