උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් ලේ දන්දීම සඳහා සිය දායකත්වය ලබා දෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් ඊයේ (9) යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවේ පැවති ලේ දන්දීමේ කඳවුර සඳහා සහභාගී විය.

උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සංවිධානත්වයෙන් පැවති මෙම ලේ දන්දීමේ කඳවුර, මෙවර (2017) පැවැත්වෙන රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව පවත්වා ඇත. මේ සඳහා උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ උතුරු නාවික විධනයට අනුයුක්ත නාවික පුද්ගලයන් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ලේ දන්දීමේ කර්තව්‍ය සඳහා සිය දායකත්වය ලබා දීමට එක් වී සිටියහ.

මේ අතර, තවත් එවැනිම ලේ දන්දීමේ කඳවුරක් යාපනය, පුන්කුඩුතිව් දූපතේ දී පවැත්විණි. මැයි මස 2 වන දිනට යෙදී තිබූ පුන්කුඩුතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනයේ 18 වන සංවත්සරයට සමගාමීව මෙම ලේ දන්දීමේ කඳවුර පවත්වා ඇත. යාපනය ශික්ෂණ රෝහලේ උතුරු පළාත් රුධිර පාරවිලයන සේවා ඒකකයේ වෛද්‍ය කණ්ඩායමක් මේ සඳහා සහාය දැක්වා ඇති අතර, මේ සඳහා ද නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් සහභාගී වී ඇත. මෙසේ පරිත්‍යාග කරන ලද රුධිරය, උතුරු පළාතේ රෝගාතුරව රුධිර අවශ්‍යතාවයෙන් පෙළෙන පුද්ගලයින් වෙත ලබා දීමට කටයුතු කරනු ඇත.