අන්තර් සමාජ ගොල්ෆ් ශූරතාවලියේ සමස්ථ ජයග්‍රහණය නාවික හමුදාවට
 

ශ්‍රී ලංකා අන්තර් සමාජ ගොල්ෆ් ශූරතාවලිය 2017 හි සමස්ථ ජයග්‍රහණය අත්කර ගැනීමට නාවික හමුදාව පසුගිය 18 වන දින සමත් විය. එම තරඟාවලිය ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කර තිබිණි.

මහනුවර, දිගන ප්‍රදේශයේ “වික්ටෝරියා ගොල්ෆ් කන්ට්‍රි රිසෝට්” හි පැවති එම තරඟාවලිය සඳහා යුද හමුදා, ගුවන් හමුදා කන්ඩායම් මෙන්ම, කොළඹ රාජකීය ගොල්ෆ් සංගමය, වික්ටෝරියා ගොල්ෆ් කණ්ඩායම් සහ ඒකාබද්ධ ගොල්ෆ් ක්‍රීඩා සමාජ කණ්ඩායම් නියෝජනය කරමින් තරඟකරුවන් 100 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ. කෙසේ වෙතත් ඔවුන් සියළු දෙනා අභිබවමින් නාවික හමුදා කණ්ඩායම මෙම ජයග්‍රහනය අත්කර ගැනීමට සමත් විය.

ඒ අනුව, තරඟාවලියේ සමස්ථ ශූරතාවය, ක්‍රීඩා සමාජ තරඟාවලි සමස්ථ ශූරතාවය මෙන්ම තනි, තනිව සංවිධානය කර තිබූ, ලංව පිහිටීම තරඟ ඉසව්ව, දිගු දුර පහර දීමේ ශූරතාවය, ලකුණු ලබා ගැනීමේ අනු ශූරතාවය, දළ ලකුණු ලබා ගැනීමේ ශූරතාවය සහ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ අනු ශූරතාවය නාවික හමුදා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. තවද, පසුගිය වසරේ (2016) නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේදී පවත්වන ලද ආරක්ෂක සේවා ගොල්ෆ් ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේද ශ්‍රී ලංකා නාවික හමුදාවයි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩකයින්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන අතර, එතුමා නාවික හමුදා ගොල්ෆ් සංචිතයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලබයි. ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීම උදෙසා ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ නවීන පහසුකම් වලින් යුත් ගොල්ෆ් ක්‍රීඩා පිටියක් ස්ථාපිත කර ඇති අතර, නාවික හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් යුතුව, වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ “ඇක්වා” ගොල්ෆ් පිටිය ස්ථාපිත කර ඇත.

තවද, මෙම වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 11 වන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) ගොල්ෆ් ශූරතාවලියේ සභාපතිවරයා ලෙස නාවික හමුදාධිපතිතුමා ඒකමතිකව තෝරා පත් කර ගෙන ඇති අතර, එම තරඟාවලිය සඳහා රටවල් 15 ක් සහභාගී වීමට නියමිතව ඇත.

අන්තර් සමාජ ගොල්ෆ් ශූරතාවලිය 2017 හි ජයග්‍රාකයන්

1.         ලංව පිහිටීම තරඟ ඉසව්ව                     -           සාමාන්‍ය නැවි, ජීවීසී උදයංග

2.         දිගු දුර පහර දීමේ ශූරතාවය                  -           බල නැවි, ආර්එම්එස් රූපසිංහ

3.         ලකුණු ලබා ගැනීමේ අනු ශූරතාවය        -           ශාරීරික අභ්‍යාසක, ඩබ්එම් වෛද්‍යරත්න

4.         දළ ලකුණු ලබා ගැනීමේ ශූරතාවය         -           සාමාන්‍ය නැවි, ටී ශිවකුමාර්

5.         ශුද්ධ ලකුණු ලබා ගැනීමේ අනු ශූරතාවය -           සාමාන්‍ය නැවි, ටී ශිවකුමාර්