තණමල්විල, වටමඩකදන් පාලම ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ මේ වන විට සමාජ සත්කාරක සේවාවන් රැසක් සිදු කරමින් පවතී. තම මාතෘ භූමියේ සහ ජනතාව‍ගේ සුභසිද්ධිය උදෙසා හැකි සෑම අවස්ථාවකදීම ප්‍රමුඛතාවය ගෙන කටයුතු කරන නාවික හමුදාව, සිය ප්‍රජා සත්කාරක සේවාවන්හි නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තණමල්විල, හම්බෙගමුව ප්‍රදේශයේ දැඩි ලෙස අබලන්ව තිබූ වටමඩකදන් පාලම ප්‍රතිසංස්කරණය කර, පසුගිය 15 වන දින උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.

සිරස රූපවාහිනී නාලිකාවේ ගම්මැද්ද වැඩසටහන මගින් පළමුව මෙම පාලම පිළිබඳව අනාවරණය කළ අතර, එම තොරතුරු අනුව නාවික හමුදා ප්‍රජා සත්කාරක සේවාව යටතේ අබලන්ව පැවති මෙම පාලම, නව පාලමක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට නාවික හමුදාධිපතිතුමා විසින්, නාවික හමුදා පර්යේශණ හා සංවර්ධන ඒකකයට උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව, එම කර්තව්‍ය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් මූල්‍යමය දායකත්වය ලබා දීමට ඉදිරිපත් වූ අතර, එවකට ගිණි‍කොන නාවික විධානයේ සිවිල් ඉංජිනේරු නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කොමාණ්ඩර් කේජීටීසී මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම නාවික විධානයට අයත් සිවිල් ඉංජිනේරු අංශයේ නාවිකයන් එම කර්තව්‍ය සඳහා ඇප කැප වී ක්‍රියා කළහ.

වසර 17 ක් වැනි දීර්ඝ කාල සීමාවක් තිස්සේ අබලන්ව පැවති මෙම පාලම, ඒ හරහා ගමන් කරනු ලබන ජනතාවට මරු කපොල්ලක් වී තිබිණි. කුකුල්කටුව සහ රතඹලාගම යන ගම්මානයන්හි පවුල් 1500 කට අධික පිරිසක් ඒ වන තෙක් සිය ගමනා ගමන කටයුතු මෙම පාලම ඔස්සේ සිදු කර ඇත. ඒ අනුව, නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය මත මාස 2 ක් වැනි කෙටි කාලයක් තුළ මෙම පාලමේ සියළු ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට ඔවුන්ට හැකියාව ලැබිණි.

මෙහි ඇති සුවිශේෂීත්වය නම් රුපියල් මිලියන 1.5 කටත් වඩා අඩු පිරිවැයක් දරමින් ශක්තිමත් සහ උසස් නිමාවකින් යුතුව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නාවික හමුදාව සමත් වීමයි. මෙම මහඟු කර්තව්‍යයට උරදුන් සිවිල් ඉංජිනේරු අංශයේ නාවික පුද්ගලයන් හට මෙන්ම නාවික හමුදාධිපතිතුමා ප්‍රධාන, සමස්ථ නාවික හමුදාවට ප්‍රදේශ වාසීන්ගේ ගෞරවනීය ස්තුතිය හිමි වූ අතර, එම ක්‍රියාව ඔවුන් මහත් ඉහලින් අගය කරනු ලැබූහ. ඉදිරියේදීත් මෙවැනි සමාජ සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

‍එම උත්කර්ශවත් අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තුමිය, නාවිකයන් සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.