කච්චතිව් මංගල්‍යය - 2017
 

පුරාවිද්‍යාඥයන්ගේ සොයා ගැනීම් වලට අනුව, කච්චතිව් දූපත ජලයෙන් ඉස්මතුව තිබෙනුයේ මීට වසර 115,000 ත් 130,000 කට පමණ පෙරාතුවය. මෙම දිවයිනෙහි ප්‍රථම වතාවට පරිපාලන කටයුතු සිදු කරනු ලැබ ඇත්තේ පෘතුගිසී ජාතිකයින් වන අතර, ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුල සිටම මෙම දූපතේ සහ අවට මුහුදු ප්‍රදේශයේ ස්වාධිපත්‍ය බලය සහ නිතීයේ ආධිපත්ත්‍යය කිසිම බධාවකින් තොරව දරා ඇති බව පුරාවිද්‍යාත්මකව තහවුරුව ඇත. ඵෙතිහාසික කච්චතිව් පල්ලිය, ශාන්ත අන්තෝනී මුනිදුන්ට කැපකොට සාදා ඇත්තේ 1900 වර්ෂ වල අතර ධීවර ජනතාවගේ භාරකරු වශයෙන් ශාන්ත අන්තෝනී තුමා සැලකීමට පාත්‍ර වේ.

වර්ග කිලෝමීටර් 1. 15 ක් පමණ වන කුඩා දූපතක් වන කච්චතිව් පිහිටා ඇත්තේ, ඩෙල්ෆ් දූපතේ සිට කිලෝ මීටර 20 ක් පමණ ඈතිනී. කෙසේ වෙතත් මෙම දූපත ධීවර ජනතාව විසින් ඉතා ඈත අතීතයේ සිටම භාවිතා කර ඇති අතර, ඈත මුහුදු ධීවර කටයුතු කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ධීවර ආම්පන්න අළුත්වැඩියා කර ගැනිමට මෙම දූපත භාවිතා කොට ඇත. ඒ අනුව කච්චතිව් දූපතේ පිහිටා ඇති ශාන්ත අන්තෝනී කුඩා පල්ලිය සියලු ධීවරයින්ගේ ගෞරව භක්තියාදරයට සෑම අවස්ථාවකදීම ලක් වී ඇත.

ශාන්ත අන්තෝනී දෙවිදුන්ගේ පල්ලියේ වාර්ෂික මංගල්‍යය අතිවිශාල ඉන්දියානු සහ ශ්‍රී ලාංකීක බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් සෑම වසරකම පෙබරවාරි හෝ මාර්තු මාසවල පවත්වනු ලබයි. මෙම වාර්ෂික මංගල්‍යය සහ දේව මෙහෙයන් වලට බැතිමතුන් සහභාගි වනුයේ ඉතා බැති සිතින් වන අතර, එම පැමිණෙන අතිවිශාල ජනතාවට පහසුකම් සැලසීමට අලුත් පල්ලියක් ගොඩනැගීමේ අවශ්‍යතාවය දැඩි කාලයක පටන් පැවතිණි.

යාපනය දියෝකීසියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රකාසම් පියතුමාගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම් වලට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව 2016 වසරේ මැයි මස 09 වන දින නව පල්ලියක් සෑදීම සඳහා මුල් ගල ප්‍රතිස්ථාපනය කරන ලදි. ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් නාවික හමුදාව මාස 07 ක් වැනි කෙටි කාලයක් තුළ නව පල්ලියේ වැඩ කටයුතු සම්පුර්ණයෙන්ම නිම කොට 2016 දෙසැම්බර් මස 23 වන දින රෝමානු කාතෝලික සභාවට භාර දෙන ලදි.

මෙම අලුතින් ඉදිකළ ශාන්න අන්තෝනී දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය 2017 මාර්තු මස 12 වන දින පැවැත්වීමට සියළු විධිවිධාන සලසා ඇත. මීට අමතරව මෙම ඵෙතිහාසික මංගල්‍යයේ ප්‍රධානම පහසුකම් සලසන්නා වන ශ්‍රී ලංකා නාවික හමුදාව දෙස් විදෙස් අතිවිශාල ජනතාවට අවශ්‍ය කරන සියළු මූලික පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත. ඒ අනුව නාවික හමුදාව විසින් බැතිමතුන්ට අවශ්‍ය ආහාර, යටිතල පහසුකම්, සනීපාරක්ෂක කටයුතු, පානීය ජලය ලබා දීමට සියළු කටයුතු සුදානම් කොට ඇත.

මෙම උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිකර නිම කරන ලද ඩෙල්ෆ් ජැටිය සහ කච්චතිව් ජැටිය විවෘත කොට මහජනතාවගේ ප්‍රවාහන කටයුතු පහසු කර ගැනීමට කටයුතු සලසා දී ඇත. මීට අමතරව, නල්ලිනක්කපුරම් ගම්මානයේ දීර්ඝ කාලයක් තිස්සේ පවත්නා වූ ජල අර්බුදයට විසදුමක් වශයෙන්, ජලය බෙදා දීමේ ව්‍යාපෘතියක්ද මේ සමග විවෘත කිරීමට කටයුතු සුදානම් කොට ඇත.

මෙවර කච්චතිව් මංගල්‍යය සඳහා ඉන්දීය සහ ශ්‍රී ලාංකීක බැතිමතුන් 9,000 ක් පමණ සහභාගී විමට ඉඩ ඇත.