තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි. එහි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක. ඒ අනුව රිදිමාලියද්ද ප්‍රදේශයේ සහ පොල්පිතිගම තලාකොලවැව ගම්මානයේ ස්ථාපිත තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (8) ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ අනුව, රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කාර්යාලය භුමියේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මඟින් එම ප්‍රදේශයේ පවුල් 715 කට පමණ පිරිසිදු පානිය ජලය සපුරා ගැනිමට හැකිව ඇත. තවද පොල්පිතිගම තලාකොලවැව ගම්මානයේ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කර එම ප්‍රදේශයේ පවුල් 730 කට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකියාව ලබා දී ඇත. මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරිම සඳහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය මගින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතාගේ සහ වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශය මඟින් සාදා නිම කරන ලදි.

මෙම සමාජ සත්කාරක සේවාව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් කෙටි කාලයක් තුළදී අඩු පිරිවැයක් දරමින් සිදු කරනු ලබයි. එම මහගු කර්තව්‍යයේ ප්‍රථිපලයක් වශයෙන් වකුගඩු රෝගයට සීග්‍රයෙන් ගොදුරු වෙමින් සිටින ජනතාව මේ වන විට එම අවධානම් තත්ත්වයෙන් මිදෙමින් පවතී. තවද, මෙම සමාජ මෙහෙවර ජනතාව‍ගේ මහත් ප්‍රසාදයට පත්වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන් සිය හෘදයාංගම ස්තුතිය නාවික හමුදාධිපතිතුමා ප්‍රධාන සමස්ථ නාවික හමුදාවට පිරිනමන ලදී.

මේ දක්වා මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 93 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 43,300 කට හා පාසැල් දරු දැරියන් 40,300 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇත. ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර රැසක් ස්ථාපනය කිරීමට නාවික හමුදාව ‍කටයුතු කරමින් පවතින අතර, එය මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට මහත් රුකුලක් වනු ඇත.