අනතුරට පත් ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් 7 දෙනෙකු ‍බේරා ගැනේ
 

ධීවර කටයුතු සඳහා ගාල්ල ධීවර වරායෙන් පිටත් වූ “ජනත පුතා 2” නමැති බහු දින ධීවර යාත්‍රාව අද (11) උදෑසන වෙළඳ නෞකාවක ගැටී අනතුරකට ලක් වූ අතර, එහි සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය. දකුණු නාවික විධානයට අනුයුක්ත P 484 වේග ප්‍රහාරක යාත්‍රාවේ රාජකාරී නියුතු නිලධාරීන් සහ නාවිකයන් විසින් ගාල්ල වරායේ සිට මුහුදු සැතපුම් 9 ක් පමණ දුරකදී එම ධීවරයින් සහ ධීවර යාත්‍රාව බේරා ගෙන නැවත ගාලු වරාය වෙත රැගෙන එන ලදී.