අනුරාධපුරයේ ස්ථාපිත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා  පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (7)  අනුරාධපුර පිහිටි කොක්මාදුව සහ පුහුලේවැව යන ප්‍රදේශ වලදී විවෘත කෙරිණි.

ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකායේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ජල පිරිපහදු යන්ත්‍ර ඉතා කෙටි කාලයක් තුළදී ස්ථාපිත කිරීමට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සමත් වී ඇත. උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරීල් වික්‍රමසිංහ මහතාගේ සෘජු අධික්‍ෂණය යටතේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයින්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් එම ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි 2 ඉදිකරන ලදී.

මෙමගින් කොක්මාදුව ප්‍රදේශයේ පවුල් 400 කට පමණ සහ පුහුලේවැව ප්‍රදේශයේ 600 කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබේ. වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල දැඩි අවශ්‍යතාවයක් පවතින අතර, මේ දිනවල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය නොතකමින් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්‍ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය සපුරාදීම වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරමින් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කරමින් සිටී. මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 44 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 23,300 කට හා පාසැල් දරුවන් 16,000 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇති අතර, ඉදිරියේදීත් මෙවැනි ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව ‍කටයුතු කරමින් සිටී.