රත්‍රන් කිලෝග්‍රෑම් 5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රන් කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (6) සවස නාවික හමුදා අත්අඩංගුවට පත් විය. තලෙයිමන්නාරමට බටහිර දෙසින් වූ මුහුදේ දී අත්අඩංගුවට පත් මොවුන් ධීවරයින් මුවාවෙන් ධීවර ආම්පන්න ද සහිතව ඩිංගි යාත්‍රාවක් මගින් ඒවා ප්‍රවාහනය කරමින් තිබූණි. මොවුන් මන්නාරම සහ සිලාවතුර පදිංචි කරුවන් දෙදෙනෙකි.

උතුරු මැද නාවික විධානයට අයත් මන්නාරමෙහී පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පී 223 දරණ වෙරළ ආරක්ෂක මුර යාත්‍රාවට අනුයුක්ත නාවිකයන් විසින් මෙම රත්‍රන් තොගය එම ධීවර යාත්‍රාවේ තිබී සොයා ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සහ රත්‍රන් තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය.