වව්නියාව සහ නොච්චියාගම ප්‍රදේශවල ඉදිකළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව විසින් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි එක් ව්‍යාපෘතියක් වශයෙන් වකුගඩු රෝගය පැතිරයාමේ අවදානමක් සහිත ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම සඳහන් කළ හැකිය. ඒ අනුව වව්නියාව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ස්ථාපනය කරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය නොවැම්බර් 4 වන දින ඔවුන්ගේ අයිතියට පත් කෙරුණි. මෙමගින්  පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන පොලිස් නිලධාරීන් 500 දෙනෙකුට සහ ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. මෙම ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර සඳහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධක බලකායේ මූල්‍ය අනුග්‍රහය හිමි විය.

තවද නොච්චියාගම, මහලිදවැව ගම්මානයේ ජනතාගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් ඉදිකරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය අද (6) දින කැළණි රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරන ලදි. එමගින් ප්‍රදේශයේ පවුල් 45 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබේ. මෙම ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සඳහා මූල්‍ය දායකත්වය සිරස ගම්මැද්ද දින 100 වැඩසටහන හරහා කැළණි විහාරාධිපති නාහිමියන්ගෙන් ලැබුණි.

මේ දිනවල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය නොතකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්‍ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි ජනතාගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය සපුරාදීම වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටී. මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 42 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 22,300 කට හා පාසැල් දරුවන් 16,000 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇති අතර, ඉදිරියේදීත් මෙවැනි ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව ‍කටයුතු කරමින් සිටී.