නාවික හමුදා ශ්‍රමයෙන් සහ දැනුමින් ඩෙල්ෆ් දූපතේ ජැටියේ ඉදි කිරීම් ආරම්භ කෙරේ
 
 

දිගු කාලයක සිට අවශ්‍යතාවයක්ව පැවැති ඩෙල්ෆ් දූපතේ නව ජැටියේ ඉදිකිරීම් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදා මිනිස් ශ්‍රමය සහ දැනුම යොදා ගනිමින් නව ජැටියේ ඉදිකිරීම් ඊයේ (4) උතුරු නාවික පෙදෙස භාර අඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික අමාත්‍යංශ මගින් ලබා දීමට කටයුතු කර ඇත.

සාමය උදාවීමත් සමගම යාපනය අර්ධද්වීපයේ ප්‍රවාහන පහසුකම් සංවර්ධනය වුවද දූපත් ආශ්‍රිතව ප්‍රවාහන පහසුකම් සංවර්ධනය වී නොමැත. යාපනයේ දූපත් ප්‍රදේශ වල දෛනික කටුයුතු සඳහා අත්‍යාවශ්‍ය ප්‍රවාහන කටයුතු සිදු කරනු ලබන්නේ ජලජ ප්‍රවාහනය මගිනි. එම දූපත් වාසී ජනතාවට මගී ප්‍රවාහන යාත්‍රා නැවැත්වීමට හැකි ජැටි නොමැති වීම හේතුවෙන් මොවුන්ගේ ජීවිකාව සහ අනෙකුත් ප්‍රවාහන කටයුතු කරගෙන යාමේදී මහත් දුෂ්කරතාවයන්ට මුහණ දීමට සිදුවී තිබේ. මෙම නව ජැටියේ ඉදිකිරීම් අවසන් වීමත් සමග ඩෙල්ෆ් දූපත් වාසීන්ට ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් ආරක්‍ෂිතව සහ පහසුවෙන් සිදු කරගෙන යෑමේ අවස්ථාව උදාවේ.

ආගමික නායකයින්, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ඉදුනිල් කුරුප්පු මහතා සහ යාපනය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් එම ආරම්භක අවස්ථාවට සහභාගී විය.