නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (18) සමත් විය. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත්, ත්‍රිකුණාමලයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කොඩ්බේ ධීවර වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් තහනම් දැල් 3 ක් අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, ගිණිකොන නාවික විධානයට අයත් පානම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පෙරියමුහත්තුවාරම් තිරුක්කෝවිල් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 4 ‍දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී මීටර් 2500 ක පමණ දිගකින් යුත් තහනම් දැලක් අත්අංඩගුවට ගත් අතර එම පුද්ගලයන් සහ භාණ්ඩ තිරුක්කෝවිල් ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.