නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික පුද්ගලයින් 14 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය. ඒ අනුව උතුරු මැද නාවික විධානයට අයත් නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කිලිනොච්චිය ප්‍රදේශයේදී අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 45 ක් සමග පුද්ගලයන් 11 දෙනෙකු ඊයේ (10) අළුයම අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී යතුරුපැදි 3 ක් සහ ත්‍රීරෝද රථයක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එදිනම, දිවා කාලයේ ගිණිකොන නාවික විධානයට අයත් පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඔලුවිල් ධීවර වරායට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී ලෙස අල්ලන ලද කිලෝග්‍රෑම් 200 ක පමණ බරකින් යුත් මිනිමුතු මෝරෙක් ද සමග පුද්ගලයන් තිදෙනෙකු හා ඒ සඳහා යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාව අත්අඩංගුවට ගන්නා ලදී. මිනිමුතු මෝරා මහ සයුරේ ජීවත් වන විශාල මත්ස්‍ය විශේෂයක් වන අතර, ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ඔවුන් ඇල්ලීම ද තහනම් කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා අඩ්ඩාලච්චේන ධීවර පරීක්ෂක වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.