ශ්‍රී ලංකා නාවික හමුදා‍ බක්මහ උළෙල - 2016 වැලිසර දී පැවැත්වෙයි
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ  සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව අලුත් අවුරුදු බක්මහ අසිරිය 2016, වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී ඊයේ (10) ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන අරාධිත අමුත්තන් වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ එම මැතිණිය සහභාගී විය.

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් රැසක්ද, නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක්ද බක්මහ අසිරිය විඳගැනීම සඳහා සහභාගී වී සිටියහ

නාවික සහ සිවිල් පුද්ගලයන් සඳහා මෙන්ම දරු දැරියන් සඳහාද තරඟ ඉසව් රාශියක් සංවිධානය ‍කර තිබූ අතර, ගම හරහා දිවීම, පා පැදි ධාවන තරග මෙන්ම සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසකින්ද එය සමන්විත විය. සතුට සහ විනෝදාස්වාදය සපිරි බක් මහ උළෙලේ තරඟවලින් ජයග්‍රහනය කරන ලද සියළු දෙනා වෙනුවෙන් ත්‍යාග බෙදා දීම ද එහිදී  සිදු කෙරිණි. ඉන් අනතුරුව නාවික හමුදා ජනප්‍රිය තූර්ය වාදක කණ්ඩායට ප්‍රමුඛ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි.

එහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් නාවික හමුදාධිපතිතුමන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මිය සහභාගී වූ අතර, දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සංගීත ප්‍රසංගය වර්ණවත් කිරීම සඳහා නාවික හමුදා නර්තන කණ්ඩායමද එක්විය. මේ අතරතුර අවුරුදු කුමරිය තේරීමේ තරගය පැවැත්වූ අතර, එහිදී 2016 නාවික හමුදා අවුරුදු කුමරිය වශයෙන් දෙවන සහ තුන්වන ස්ථාන දිනාගත් කාන්තා නාවිකයන්හට ත්‍යාග ලබා දීම සහ නාවික අවුරුදු කුමරිය වශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත් කාන්තා නාවිකයාහට කිරුළු පැළදවීම සහ ත්‍යාග ලබා දීම යමුනා විජේගුණරත්න මහත්මිය විසින් සිදු කරන ලදී.