සේවා වනිතා අවුරුදු පොළ උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලද සේවා වනිතා අළුත් අවුරුදු පොළ ඉතා උත්කර්ෂවත් අයුරින් අද (9) ශ්‍රී ලංකා ‍නාවික නෞකා පරාක්‍රම ආයතනයේදී පැවැත්විණි. එය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගී විය. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නාවික හමුදා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල ප්‍රමාණයක්ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

අළුත් අවුරුදු සමය සඳහා රෙදි පිළි, නිමි ඇදුම්, ආහාරද්‍රව්‍ය මෙන්ම නිවසට අවශ්‍ය බොහෝ දෑ ඉතා පහසු මිලට ලබා ගැනීමට එහිදි අවස්ථාව සළසා දෙන ලදී. දූ දරුවන් වෙනුවෙන් විනෝදාත්මක ක්‍රීඩා පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සංකල්පයකට අනුව එම අවස්ථාවට සහභාගී වූ ගායන හැකියාවෙන් යුත් නාවික සහ සිවිල් පුද්ගලයන්‍හට නාවික හමුදා බටහිර තූර්ය වාදක කණ්ඩායම සමග ගීත ගායනා කිරීමේ අවස්ථාවද සළසා දෙන ලදී. එහිදී දක්ෂ ලෙස ගීත ගායනය කළ නාවිකයෙකුට ත්‍යාග ප්‍රදානය කිරීම, දිනුම් ඇදීමක් මගින් ජයග්‍රහනය කල නාවිකයන් හට ත්‍යාග ප්‍රදානය කිරීම, එම අවස්ථාව සංගීතයෙන් වර්ණවත් කළ නාවික හමුදා බටහිර තූර්ය වාදක කණ්ඩායමට ත්‍යාග ප්‍රධානය කිරීම සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්ගේ බිරින්දෑවරුවන් සඳහා සහන මල්ලක් ප්‍රදානය කිරීම ද ගරු සභාපතිතුමිය විසින් සිදු කරන ලදී.