නව වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි
 
 

නව වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා විසින් නිල වශයෙන් අද (24) සවස පනාගොඩ යුද හමුදා කඳවුරේ නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සිදුවිය. මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හා ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලයේ වත්මන් සභාපති වශයෙන් කටයුතු කරන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ද සහභාගී විය.

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ක්‍රීඩා තරඟ අතරින් විශේෂ අවධානයක් දිනා ඇති ප්‍රධාන තරඟාවලියක් වන මෙම ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය ත්‍රිවිධ හමුදාවන් හි නවක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් හඳුනාගැනීමට හැකි ඉතා අනගි අවස්ථාවකි. මෙතුළින් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරඟ නියෝජනය කිරීමේ අවස්ථාව ද උදාවනු ඇත. මාර්තු මස සිට අගෝස්තු මස දක්වා පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙලේ දී තරඟ ඉසව් 37ක් යටතේ යුද, ගුවන් හා නාවික හමුදාවන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් තරඟ වැදීමට නියමිතය.