ශ්‍රී ලංකාවට පැමිණි හිටපු රාජකීය නාවික හමුදා නිලධාරියෙකු නාවික හමුදාධිපති විසින් උණුසුම් ලෙස පිළිගනී

රාජකීය නාවික හමුදාවේ හිටපු නිලධාරියෙකු වන ලුතිනන් කොමාණ්ඩර් එම් ස්කොට් මහතා සිය බිරිඳ සමග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අතරතුර අද (18) නාවික හමුදා මූලස්ථානයට පැමිණ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී නාවික හමුදාධිපති විසින් එම මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, එම මහතා 1945 වර්ෂයේදී එනම් වයස අවුරුදු 19 ක තරුණයෙකුව සිටියදී ශ්‍රී ලංකාවේ සිදු කල සංචාරයන් පිළිබද සිය මතක සටහන් නාවික හමුදාධිපතිතුමා සමග ප්‍රකාශ කර සිටින ලදී.

රාජකීය නාවික හමුදා උප සේවයේ සාමාජිකයෙකු වන ලුතිනන් කොමාණ්ඩර් ස්කොට් මහතාට තම 90 වන ජන්ම දිනය ශ්‍රී ලංකාවේදී සැමරීමට ලැබීම විශේෂ අවස්ථාවක් විය. එහිදී නාවික හමුදාධිපතිතුමා විසින් ලුතිනන් කොමාණ්ඩර් ස්කොට් මහතාට දීර්ඝායුෂ සහ නීරෝගී දිවියට සුභපැතුම් එක්කර සිටින ලද අතර, නාවික හමුදාවේ රාජකාරී කළ කාල සීමාව තුලදී එතුමාගේ මතකයේ රැඳුනු නාවික ආයතනයන්හි සංචාරය කිරීමට කටයුතු සංවිධානය කිරීමට හැකි බවද නාවික හමුදාධිපතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී.