නාගදීප විහාරයේ වාර්ෂික කඨින පිංකමට නාවික හමුදාවේ සහාය

යාපනය, නයනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම, උතුරු නාවික විධානයේ සහයෝගයෙන් නොවැම්බර් මස 03 සහ 04 යන දිනයන්හි උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. මීට සමගාමීව, පන්නිපිටිය දෙවුරම් වෙහෙරේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොලොන්නාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මඟ පෙන්වීම මත, ලක්හඬ ගුවන් විදුලිය විසින් සංවිධානය කළ නාගදීප ත්‍රිපිටක මහා සෑයේ කොත නිරාවරණය කිරීම, මැණික් පුටුව තැන්පත් කිරීම හා තඹ පත්ඉරු වල ලියන ලද ත්‍රිපිටකය නිදන්කිරීමේ පුණ්‍ය මහෝත්සවයද පැවැත්වුණු අතර, ඒ සඳහා අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ගරු ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු විජයකලා මහේෂ්වරන් මහත්මිය, උතුරු පළාත් ආණ්ඩුකාර එච්එම්ජීඑස් පලිහක්කාර මහතා, හිටපු නාවික හමුදාධිපති සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි මහතා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා ඇතුළු ප්‍රභූන් විශාල පිරිසක් ද සහභාගී විය.

නාගදීප විහාරයේ විහාරාධිපති, අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු වාර්ෂික කඨින පිංකම සඳහා නාගදීප විහාරයේ දිගු කාලීන දායකයකු මෙන්ම එහි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එක්වුණු අතර, උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් එහි සියලු කටයුතු සංවිධානය කෙරිණි.

ආගමික වතාවත් ආරම්භ කිරීම සනිටුහන් කරමින් විහාරාධිපති හිමියන්ගේ ආරාධනය පරිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විහාර භූමියේ බෝ පැළයක් රෝපනය කරන ලද අතර, එදින පැවති සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවකින් අනතුරුව පසුදින නාවික හමුදාව විසින් සංවිධානය කළ අලංකාර පෙරහැරකින් කඨින චීවරය බැතිමතුන්ගේ පූ‍‍ජෝපහාර වෙනුවෙන් වීථි සංචාරය කෙරිණි. ඉන් අනතුරුව කඨින චීවරය, වස් වසන ලද භික්ෂූන් වහන්සේලා වෙත පූජා කිරීම හා සියක් නමක් විෂයයෙහි දානය පිළිගැන්වීම සිදු කෙරිණි. 57 වරටත් සිදුකෙරුණු මෙම කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් එහිදී නාගදීප විහාරයේ විහාරාධිපති හිමියන් විසින් නාවික හමුදාවට ආශිර්වාද ප්‍රාර්ථනා කළේය.  

නාගදීප ත්‍රිපිටක මහා සෑයේ සිදුකෙරුණු පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් අවශ්‍ය සියළු මුහුදු ප්‍රවාහන පහසුකම් නාවික හමුදාවේ රණවිජය නෞකාව ඇතුළු යාත්‍රාවන්ගෙන් සැපයුණු අතර, මෙම සද්කාර්ය වෙනුවෙන් එක්වුණු බැතිමතුන් හට උදෑසන, දහවල් සහ රාත්‍රී ආහාරය සකස් කර පිරිනැමීම නාවික හමුදාවේ මෙහෙයවීමෙන් සිදුකෙරිණි.     

තවද, නාගදීප විහාරය වෙනුවෙන් සුවිශාල සේවාවක් සිදුකළ, අතිපූජ්‍ය බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති නාහිමියන් අනුස්මරණය කිරීම වෙනුවෙන්, වන්දනාකරුවන්ගේ පහසුව සඳහා නාගදීප විහාරය හා ත්‍රිපිටක මහා සෑය පිහිටි බුද්ධ වලව්ව රජ මහා විහාරය යාකරමින් සකස් කළ “විහාර මාවත”  විවෘත කිරීම ද නාවික හමුදාධිපතිතුමන් විසින් සිදු කෙරිණි. එහි නේවාසික භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා නාවික හමුදාව විසින් ඉදිකළ සංඝාවාසය ද උතුරු නාවික විධාන ආඥාපති තුමන් විසින් සඟසතු කොට පූජා කරන ලදී. මෙහිදී නාගදීප පූජා භූමියේ ඉදිකෙරෙන අභය මුද්‍රාව සහිත 32 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල තැබීමද සිදුකෙරිණි.