223 වන බඳවාගැනීමට අයත් නාවිකයන් 366 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 223 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 366 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට විසිරයාමේ පෙළපාලිය බූස්ස පිහිටි ශ්‍රීලංනානෞ නිපුන ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී 2015 ඔක්තොම්බර් මස 17 වන දින පැවැත්විණි.

විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දකුණු නාවික විධාන ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත රණසිංහ මහතා සහභාගී වූ අතර, ශ්‍රීලංනානෞ නිපුන ආයතනයේ ආඥාපති, කොමදෝරු නිලන්ත හීනටිගල ඇතුලු ජේෂ්ඨ සහ කණිෂ්ඨ නාවික නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක්ද, ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද මෙම උත්සවයට සහභාගීවි සිටියහ.

ඉතා ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් සමන්විත වූ මෙම විසිරයාමේ පෙළපාලියේදී තම මූලික පුහුණුව තුල විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්‍රධානෝත්සවයක්ද සිදු කෙරිණි. එහිදී 223 වන බඳවාගැනීමේ හොඳම නාවිකයා සහ සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයා ලෙස ආධුනික නැවි ජීජීඑස්එස් ප්‍රේමචන්ද්‍ර ත්‍යාග හිමිකරගත් අතර, ආධුනික නැවි කේඩබ්ජීඩී කීර්තිරත්න හොඳම වෙඩික්කරුට හිමි ත්‍යාගයට හිමිකම් කීවේය. මෙයට අමතරව ආධුනික නැවි එච්එම්එන් හේරත් හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් අතර, වීරයා අංශය හොඳම අංශය බවට තේරී පත්විය.

විසිර යන නාවිකයින් ඇමතූ රියර් අද්මිරාල් රණසිංහ මහතා, සය මසක සාර්ථක පුහුණුවකින් ලත් න්‍යයාත්මක සිද්ධාන්තයන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමෙන් හා නාවික හමුදාවේ උසස් සම්ප්‍රදායන් අනුගමනය කරමින් මාතෘභූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට අද දින විසිරගිය සියළුම නාවිකයින් කැපවිය යුතු බව සඳහන් කර සිටි අතර, රට ජාතිය වෙනුවෙන් සේවය කිරීම සඳහා නාවික හමුදාවට තම දරුවන් දායාදකල දෙමාපියන් හට නාවික හමුදාධිපති වෙනුවෙන් සිය ගෞරවය පුද කරන බවද වැඩිදුරටත් සඳහන් කරන ලදී.