ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් විසි හතර දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට ආසන්න දෙසින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 04ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12) අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ට්‍රෝලර් යාත්‍රා දෙකක් තලෙයිමන්නාරමට උතුරු දෙසින් සහ අනෙක් ට්‍රෝලර් යාත්‍රා දෙක ඊසාන දෙසින් වූ මුහුදේ නාවික සැතපුම් 3ත් 6ත් අතර ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරත වෙමින් තිබිණි.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රා තලෙයිමන්නාරම වෙත රැගෙන ඒමෙන් පසු ඉදිරි කටයුතු සඳහා මන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කරන ලදී.