නාවික හමුදාධිපති ගිනිකොන නාවික විධානයේ පරීක්ෂණ චාරිකාවක නිරතවේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඔක්තෝබර් මස 10 වන දින ගිනිකොන නාවික විධානයේ පරීක්ෂණ චාරිකාවක නිරතවිය. එහිදී ගිනිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා විසින් නාවික හමුදාධිපතිතුමා පිළිගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ ගිනිකොන නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

ගිනිකොන නාවික විධානයේ කටයුතු පිළිබදව විස්තර කිරීමකට සහභාගී වූ නාවික හමුදාධිපතිතුමා පානම ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ ශ්‍රවණාගාරයේදී නිලධාරීන් සහ නාවිකයන් ඇමතූ අතර, ප්‍රදේශයේ සිවිල් ජනතාව සමග සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් ආරක්ෂක සහ ජාතික අරමුණු කරා ලගා වීම සඳහා නාවිකයන් විසින් කරන ලද සේවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. මුහුදේ සහ ගොඩබිමෙහි මෙහෙයුම් සූදානම් බව පවත්වාගැනීම සහ පැවරී ඇති අනෙකුත් රාජකාරීන් ඉටු කිරීම සදහා නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ කැපවීම නාවික හමුදාධිපතිතුමා විසින් එහිදී ඇගයීමට ලක් කළේය.

ගිනිකොන නාවික විධානයට දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති අභිනවයෙන් ගොඩනගන ලද වාහන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමද මෙම සංචාරය තුලදී සිදු කෙරුණු අතර, මෙම චාරිකාවාරය සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමා විසින් ගිනිකොන නාවික විධාන මූලස්ථානයේදී රුක් රෝපනයක්ද සිදු කරන ලදී.

මෙම සංචාරය තුලදී නාවික හමුදාධිපතිතුමා විසින් ගිනිකොන නාවික විධානයේ වෙරළ තීරයට අයත් ප්‍රධාන නාවික ආයතනයන් වන ආරුගමිබේ නාවික අනුඛණ්ඩය, කල්මුණේ පරිවාර කදවුර සහ ඔලුවිල් නාවික උප අනුඛණ්ඩය නිරීක්ෂණයට ලක් කල අතර, එම අනුඛණ්ඩයන් සඳහා ලබා දී ඇති පහසුකම් පිළිබදව සහ පැවරී ඇති රාජකාරීන් ඉටු කිරීම සදහා ඵලදායී ලෙස එම පහසුකම් භාවිතා කිරීම පිළිබදවද තම අවධානය යොමු කළේය. ගිනිකොන මුහුදු ප්‍රදේශයේ කඩිනම් අවශ්‍යතා සඳහා ඔලුවිල් වරායේ ස්ථානගතකොට ඇති යාත්‍රාවන් උපයෝගී කර ගැනීමද මෙහිදී නාවික හමුදාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක්විණී. නාවික හමුදාධිපතිතුමා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය හෙබවූ අවධියේදී ස්ථාපනය කරන ලද ඔලුවිල් වෙරළාරක්ෂක ස්ථානයද මෙම චාරිකාවාරයේදී එතුමාගේ නිරීක්ෂණයට ලක් විය.