මුහුදේදී අනතුරටපත් ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදාව බේරා ගනී

ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 405ක් (නාවික සැතපුම් 225ක්) පමණ නැගෙනහිරින් වූ ගැඹුරු මුහුදේදී යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් ˝සුරංග˝ නැමති ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාවට හැකිවිය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් සිදු කළ දැනුම් දීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම ධීවරයින් පිරිස බේරා ගැනීම සඳහා උතුරු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ ˝ශක්ති˝ නෞකාව පසුගිය 21 වන දින පිටත්කර හැරීමට කටයුතු කළේය.

ධීවරයින් පිරිස බේරා ගැනීමෙන් අනතුරුව අළුත්වැඩියා කිරීමට නොහැකි තත්වයේ තිබූ ධීවර යාත්‍රාව රළු මුහුදු තත්වය යටතේ පැය 48කට පසු ආරක්ෂාකාරී ලෙස අද (25) දින ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.