ජනපතිතුමා ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත වේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) උදෑසන ත්‍රිකුණාමළය නාවික කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් ජනපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ හා අසාත් සාලි යන මහත්වරුන්ද සහභාගී විය.

චාරිකාව අතරතුර නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවකින් එම පිරිස ත්‍රිකුණාමළය වරාය තුළ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඉන් අනතුරුව ජනපතිතුමන් නාවික හමුදා කෞතුකාගාරය නැරඹිමට පැමිණි අතර, එල්ටීටීඊ සංවිධානය සතුව තිබී නාවික හමුදාව විසින් අත්පත් කරගත් යාත්‍රා සහ අවි ආයුධ එහිදී නිරීක්ෂණය කළේය. නිරීක්ෂණ චාරිකාවෙන් පසුව ජනපතිතුමන් ත්‍රිකුණාමළය නාවික කඳවුරේ නේවාසික නාවික නිලධාරීන්ගේ පවුල්වල දූ දරුවන් හමුවී සුහද කතාබහක නිරත විය.