හදිසි රිය අනතුරකින් මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්

පසුගිය 13 වන දින හදිසි රිය අනතුරකින් මියගිය සාමාන්‍ය නැවි පීජීඑස් සම්පත් වෙනුවෙන් නාවික හමුදා ˝නැවිරුසවිය˝ සුවසහන අරමුදලින් රුපියල් මිලියනයක මුදලක් නාවිකයාගේ බිරිඳට ලබාදීම අද දින (17) ඔහුගේ නිවසේදී සිදුවිය.

2011 වර්ෂයේදී නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයට බැඳී ඇති සාමාන්‍ය නැවි සම්පත්, මිය යන විට වැලිසර ශ්‍රි ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයට අනුයුක්තව සේවය කරමින් සිටියේය. වයස අවුරුදු 05ක කුඩා දරුවෙකුගේ පියෙකු වන ඔහු මාතර රංසාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

නාවික හමුදාවෙන් ලබාදුන් මෙම රක්ෂණ වන්දිය පිළිබඳ අදහස් දැක්වූ ඔහුගේ බිරිඳ, තම ආදරණීය සැමියා අහිමිවීමෙන් සංවේිගයට පත්ව සිටින අවස්ථාවේි එවැනි උපකාරයක් ලැබීම ඉදිරියේදී තම දරුවා රැකබලාගැනීමට විශාල ශක්තියක් වනු ඇති බවත්, ඒ පිළිබඳ නාවික හමුදාවට සිය කෘතවේදීත්වය පළකරන බවත් සඳහන් කර සිටියේය.  

නාවික පුද්ගලයින් ගේ රක්ෂණාවරණයක් ලෙසින් ආරම්භ කෙරුණු නාවික හමුදා ˝නැවිරු සවිය˝ සුවසහන අරමුදලින් පසුගිය මාස 06 තුළදී පමණක් නාවික පුද්ගලයින් 13 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත රුපියල් මිලියන 13ක මරණ වන්දි ලබාදී ඇති අතර, තවත් පිරිසකට රුපියල් මිලියන 47ක වෛද්‍ය  වන්දි ලබාදී ඇත. නාවික හමුදාධිපතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන මෙම ˝නැවිරු සවිය˝ රක්ෂණාවරණය, නාවික පුද්ගලයින් සැමටම ප්‍රථිලාභ රැසක් හිමිවන ඉතාමත් සුවිශේෂී වූ අරමුදලකි.