අන්තර් සමාජ කාන්තා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ කාන්තා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරගයේදී යුද්ධ හමුදා ‘ඒ’ කණ්ඩායම පරදා කඩුලු දෙකක තියුණු ජයක් ලබා ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2021 අප්‍රේල් 02 වන දින සමත් විය.

ලීග් ක්‍රමය යටතේ පැවති මෙම තරගාවලිය සඳහා දිවයිනේ ක්‍රීඩා සාමාජ නියෝජනය කරමින් කාන්තා කණ්ඩායම් 08 ක් සහභාගී විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග 07 කට මුහුණ දී ඉන් සියළුම තරග ජයග්‍රහණය කළ අතර, නාවික හමුදා කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු 33 ක් හිමි කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් තරගයේදී යුද්ධ හමුදා ‘ඒ’ කණ්ඩායම පරාජයට පත් කරමින් අපරාජිතව තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට සමත් විය.

මෙම අවසන් තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් යුද්ධ හමුදා ‘ඒ’ කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 138 ක් ලබා ගත් අතර, ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දු වාර 48 පන්දු 02 කදී කඩුලු 08 ක් පමණක් දැවි ලකුණු 139 ක් ලබා ජයග්‍රහනය තමන් සතු කර ගැනීමට සමත් විය. එහිදී නාවික හමුදා කණ්ඩායමේ සශිකලා සිරිවර්ධන ලකුණු 43 ක්, හර්ෂණී විජේරත්න ලකුණු 21 ක්, උදේශිකා ප්‍රබෝධනී නොදැවී ලකුණු 20 ක් ලබා ගනිමින් සහ ඉනෝකා රණවීර ලකුණු 27 කට ප්‍රතිවාදී කඩුලු 04 ක්, සශිකලා සිරිවර්ධන ලකුණු 26 කට ප්‍රතිවාදී කඩුලු 02 සහ සත්‍යා සන්දීපනී ලකුණු 26 කට ප්‍රතිවාදී කඩුලු 02 ක් දවා ගනිමින් නාවික හමුදා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය සඳහා යොමු කරවීය.