‘2020 අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය’ ප‍ළමු දිනය සාර්ථකව නිමාවට පත්වේ.

අද (2020 පෙබරවාරි 29) ගාලු මුවදොර වෙරළ තීරයෙහිදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංවිධානයේ සහාය සමගින් පවත්වනු ලබන ‘2020 අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලියේ’ පළමු දිනය සාර්ථකව අවසන් විය.

මෙම රුවල් යාත්‍රා තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් ඔරු සංචිතයේ නාවික පුද්ගලයින් ඇතුළු RCYC ක්‍රීඩා සමාජය, කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සමාජය, ගල්කිස්ස ශාන්ත තොමස් විද්‍යාලීය ක්‍රීඩා සමාජය, CMYC ක්‍රීඩා සමාජය , කොළඹ කාන්තා විද්‍යාලීය ක්‍රීඩා සමාජය ආදී දිවයිනේ දක්ෂ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 87 දෙනෙකු සහභාගී වන ලද අතර, රුවල් යාත්‍රා 70 ක් පමණ එක්විය. මෙහිදී Child Optimize, laser radial, Laser Standard, Laser 4.7, Enterprise, GP 14 යන ඛාණ්ඩ යටතේ අද දින තරග රැසක් පවත්වන ලදි.

ඒ අනුව, තරඟාවලියේ පළමු දිනයට අදාල තරඟ අද දින පැවැත්වීමට කටයුතු කරන ලද අතර, තවත් තරඟ ඉසව් කිහිපයක් 2020 මාර්තු 01 වන දින පැවැත්වීමටත් තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය එදින සවස ගාලු මුවදොර වෙරළ තීරයෙහිදීපැවැත්වීමටත් කටයුතු සූදානම් කර ඇත.