රුපියල් මිලියන 68කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2021 නොවැම්බර් 21) අළුයම යාපනය අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් ඩිංගි යාත්‍රාවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 229 ග්‍රෑම් 350ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වූ වෙරළ තීරයන් ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ වේළුසුමන ආයතනය මගින් අද (2021 නොවැම්බර් 21) අළුයම යාපනය අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සහ ඒ ආශ්‍රිත වෙරළ තීරයන් ආවරණය වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී ජාවාරම්කරුවන් විසින් නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව වෙරළ ආශ්‍රිතව අතහැර දමා යන ලද ඩිංගි යාත්‍රාවක සඟවා තිබූ ගමන්මළු 07ක පාර්සල් 105ක් වශයෙන් අසුරන ලද කේරළ ගංජා කිලෝ 229 ග්‍රෑම් 350ක පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 68කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව පිළිබඳ ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ රඳවා තබා ඇත.