රුපියල් මිලියන 24කට අධික වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද (2021 නොවැම්බර් 15) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 03 ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 03ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදු කරනු ලබන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා මුහුදු තීරයේ සහ වෙරළ තීරයන්හි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවික හමුදා මැරීන් බලඝණයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් අද (2021 නොවැම්බර් 15) උදෑසන තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රාවේ සඟවා ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 03 ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව එම ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් තිදෙනෙකු (03) මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ ඩිංගි යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වීථි වටිනාකම රුපියල් මිලියන 24කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.