නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1220 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, තේවම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ, මුලන්කාවිල්, නච්චිකුඩා වෙරළ තීරයේ සහ මන්නාරම, පල්ලේමුනේයි ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 17 සහ 18 වන දිනයන්හී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ 1220 ග්‍රෑම් 700ක පමණ තොගයක්, ඩිංගි යාත්‍රාවක් (01) , ත්‍රි රෝද රථයක් (01) සහ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව දිවයින වටා වෙරළ තීරය ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින් අද (2021 ඔක්තෝබර් 18) අළුයම මන්නාරම, තේවම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාවාරම් කරුවන් විසින් නාවික හමුදා මෙහෙයුම් හමුවේ අතහැරදමා යන ලද බවට සැක කෙරෙන උර 12ක අසුරන ලද වියලි කහ කිලෝ 621ක පමණ තොගයක් ඩිංගි යාත්‍රාවක තිබී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින් 2021 ඔක්තෝබර් 17 වන දින මන්නාරම, නච්චිකුඩා වෙරළ තීරයේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාවාරම් කරුවන් විසින් නාවික හමුදා මෙහෙයුම් හමුවේ වෙරළ තීරයේ අතහැරදමා ගොස් තිබූ වියලි කහ කිලෝ 79 ග්‍රෑම් 700ක පමණ තොගයක් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් 2021 ඔක්තෝබර් 17 වන දින මන්නාරම, පල්ලේමුනේයි ප්‍රදේශයේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී නිතී විරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබූ වියලි කහ කිලෝ ග්‍රෑම් 520ක පමණ තොගයක් සමඟ ත්‍රි රෝද රථයක් සහ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කළ මෙ‍ම මෙහෙයුම මඟින් මන්නාරම, පල්ලේමුනේයි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 51ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචි සැකකරු, ත්‍රිරෝද රථය සහ වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම් පොලිසිය වෙත භාර දිමට කටයුතු කළ අතර, මන්නාරම, තේවම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සහ මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත භාර දෙන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.