මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදා සහය

ත්‍රිකුණාමලය සිට නාවික සැතපුම් 30ක් පමණ (කිලෝ මීටර් 55ක් පමණ) දුරින් නැ‍ගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අනතුරට පත්වී ආසාධිත වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව 2021 සැප්තැම්බර් මස 26 වන දින රාත්‍රියේ කටයුතු කරන ලදී.

අම්බලන්ගොඩ ධීවර වරායෙන් 2021 සැප්තැම්බර් මස 19 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘සුදු රුවන් 3’ නැමැති බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු ධීවර යාත්‍රාව තුළ ඇදවැටී අනතුරට පත්වී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික මුදවා ගැනීම් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලදී.

ඒ අනුව, එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම ධීවරයා ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සදහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත එම මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ නියුතු හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝනයට අයත් පී 4444 යාත්‍රාව අනතුරටපත් ධීවරයා සිටි බහුදින ධීවර යාත්‍රාව තිබූ මුහුදු ප්‍රදේශයට යොමු කරන ලදී. අසාධ්‍යව සිටි ධීවරයා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රථමාධාර ලබා දෙමින් ත්‍රිකුණාමලය වරාය ආසන්නයට කඩිනමින් රැගෙන විත් වෙරළරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 210 දරණ වෙරළ බඩ මුර යාත්‍රාව මාර්ගයෙන් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ඒමෙන් පසු ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමෙන් සිටී.