රුපියල් මිලියන 27කට අධික විථි වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ සහ වෙරළ ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 24 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ වලේපාඩු වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝ 91 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින් 2021 සැප්තැම්බර් මස 24 වන දින උදෑසන මන්නාරම, වලේයිපාඩු වෙරළතීරයට පැමිණෙමින් තිබූ සැකකටයුතු වල්ලම් යාත්‍රා දෙකක් (02) නිරික්‍ෂණය කර, ඉසෙඩ් 190 සහ ඉසෙඩ් 227 යන සෙඩ්‍රික් යාත්‍රා යොදවා එම මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදි නාවික මෙහෙයුම් හමුවේ සැකකටයුතු වල්ලම් යාත්‍රා දෙක (02) වලේයිපාඩු වෙරළේ අතහැර ගොස් තිබූ අතර, නාවික හමුදාව සිදුකළ පරික්‍ෂාවේදී, එම යාත්‍රා තුල සඟවා තිබූ පාර්සල් 02ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 04යි ග්‍රෑම් 395ක ප්‍රමාණයක්, සමඟ එම වල්ලම් යාත්‍රා දෙක (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදාව විසින් වලෙයිපාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ වැඩිදුර සෝදිසි මෙහෙයුමකදී අසළ ලඳු කැලෑවක සඟවා තිබූ උර පහක (05) පාර්සල් 39ක් ලෙස අසුරන ලද තවත් කේරළ ගංජා කිලෝ 86 ග්‍රෑම් 956ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී. ඒ අනුව, මෙම සමස්ථ මෙහෙයුමේදී නීති විරෝධි ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ කේරළ ගංජා කිලෝ 91 ග්‍රෑම් 351 පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 27 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මඟින්, වල්ලම් යාත්‍රා තුල තිබී නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා කිලෝ 04යි ග්‍රෑම් 395ක ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා ජයපුරම් පොලිසිය වෙත භාර දුන් අතර, වලේයිපාඩු වෙරළ ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා කිලෝ 86 ග්‍රෑම් 956ක පමණ තොගය ගිනි තබා විනාශ කිරීමට නියමිතව ඇත. තවද, නාවික හමුදා භාරයටගත් වල්ලම් යාත්‍රා දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.