මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් සමග සැකකරුවන් ‍02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මීගමුව, මා ඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයෙහි අද (2021 සැප්තැම්බර් මස 16) අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව දිවයින වටා වෙරළ තීරය ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, අද (2021 සැප්තැම්බර් 16) අළුයම බටහිර නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා කැළණි ආයතනයේ නාවිකයන් සහ විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත කණ්ඩායමක් විසින් මීගමුව, මා ඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කළ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම යාත්‍රා තුළ තිබූ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ උර 37ක අසුරන ලද වියලි කහ කිලෝ ග්‍රෑම් 1162.950ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ අතර, එම වියලි කහ තොගය සහ යාත්‍රා සමඟ එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ක් වන මිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.