රුපියල් මිලියන 14 කට ආසන්න වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම, වංකාලේහීදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ අද (2021 සැප්තැම්බර් 15) උදෑසන සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 47 ග්‍රෑම් 100ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනය මගින් මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ අද (2021 සැප්තැම්බර් 15) උදෑසන සිදු කළ මෙම විශේෂ පාමුර සංචාරයේ දී එම වෙරළ තීරයේ තිබී පාර්සල් 20ක් තුල අසුරන ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 47 ග්‍රෑම් 100ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය ජාවාරම් කරුවන් විසින් මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදා භාරයටගත් මෙම කේරළ ගංජා තොගයේ දළ විථි වටිනාකම රු.මිලියන 14කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය උතුරු මැද නාවික විධානයේ අධික්‍ෂණය යටතේ ගිනි තබා විනාශ කිරීමට නියමිතය.